පොලව යටට බඹ 90 ක් ගිහින් සිරීපාදයත් බැලුවෙමි.(2 කොටස)

2 comments
මේ දවස් ටිකේම ලියන මහත්තයා වගේ ලියන එකමයි වැඩේ.කරන්ඩ වෙන වැඩකුත් නෑ නේ.එදා අපේ ගමනේ මුල් ටික දැම්ම නේ.අද එතනින් එහාට වුන දේවල්.ඔන්න අපි අන්තිමට බෝගල පතලෙන් පිටත් වෙලා අවා.ආවේ අපේ ඒක යාලුවෙක්ගෙ ගෙදරවලට.දෙය්යනේ කියල අපේ දවල් කෑමයි රෑ කෑම එකයි යාලුවෝ දෙන්නගේ ගෙවල් වලින් ලැස්ති කරලා තිබුනා,අපි ඒවත් අරන් අපේ ප්‍රධාන ගමන ඇරඹුවා.කෑගල්ලේ කොටියාකුඹුරෙන්.අපේ ගමන් මග වුනේ අවිස්සාවේල්ල පාරේ කරවනැල්ලට ගිහින් හැටන් පාරට හැරිලා නල්ලතන්නියට.

ඔය යන ගමන් මගේ තමයි තියෙන්නේ කිතුල්ගල ඔය,කට්ටිය බෝට්ටු සවාරි එහෙම යන්නේ..අපිත් ඉතින් හඩ්ඩො වගේ හිටිය හින්දත්,දවල් කෑම වෙලාවත් පැනල තිබ්බ හින්ද මේ ඔයෙන් නාගෙන කාලා එහෙම ගමන පිටත් වෙන්න කතා වුනා.එතනත් සුපිරි....බඩ පැලෙන්න නාලා, සුදු වෙනකල් කාලා තමයි ගමන පිටත් වුනේ.
නාන ලඳුන්.වැරදුනා.නාන ළමුන්.

දෙය්යනේ කියල අපි 9 වගේ වෙද්දී නල්ලතන්නියට අවා.ඇවිත් රෑ කෑම වේලත් එතනදීම සප්පායම් වෙලා ඉදිකටු පානේදී අපිට අවශ්‍ය වනවා යයි කියපු දේවල් ටිකත් අරගන ගමන පිටත් වුනා.කඩෙන් බුලත් විටක් එහෙම අරගෙන,වලස් පුංචා ගෙනාව අලුවා පාර්සලේකුත් අරගෙන තමා ඔන්න කට්ටිය කන්ද නැග්ගේ.ජපන් සාම විහාරය අපිට මගදී හම්බ වුනා.එතනට ගිහින් වැඳ පුදාගෙන ටිකක් ගිමන් ඇරලා ආයෙමත් ගමන ඇරඹුවා.මුලදී තිබුන ගැම්ම ටිකෙන් ටික අඩු වුනේ දැනුන මහන්සිය නිසාමයි.අතර මගදී හමුවුන අය එක්ක කතා බහ කර කර ගිය හින්ද විඩාව ටිකක් අඩු වුනා.අපේ මීලග නැවතුම වුනේ සිද්ධාලේප වෙදමහතාගේ වෙද මැදුරේ.එතනින් හිසේ අමාරුවට සත්කාරයකුත් නොමිලේම ලබා දුන්න.එතනින් අපි පිටත් වුනේ හැමෝටම පින් දීල.මොකද මේ වගේ ගමනකදී ඒ සත්කාරය මසුරන් වටිනවා.
             අපි හෙමින් හෙමින් සෑහෙන දුරක් නැග්ගා.තවත් තැනක නතර වෙලා ගෙනාව අලුවා පාර්සලෙටත් වග කියල ඉස්සරහටම ගිය.මීලගට අපිට සීත ගඟුල හම්බ වුනා.ඒ වෙද්දීත් අපිට වට පිටින් සෑහෙන සීතලක් දැනෙමින් තිබුනේ.කෝඩුකාරයන් ට සීත ගඟුලෙන් නාලා යන්න ඕනේ කියලයි අපි අහලා තිබුනේ.නමුත් අධික සීතල හින්ද අපි නෑවේ නම් නෑ.ඇග පත හෝදගෙන අවා.කියන්න බැරි වුනා නේ.මේ ගමනේ මාත් එක්ක කෝඩුකාරයෝ හය දෙනෙක් හිටියා.අපි සේරම දඬු කෝඩු ලු.මම ඇහුව අපේ නඩේ ගුරා ගෙන්(කෑගල්ලේ සහෝදරයෙක්) ඒ මොකද කියල.ඔහු කිව්ව විදියට අවරුදු 18 ට අඩු නම් කිරිකෝඩු විදිහටත් 18 ට වැඩි නම් දඬුකෝඩු විදිහටත් අදුන්වනවාලු.මේ සේරම අපිට අලුත් අත්දැකීම්.
                 අපි ඊලගට පැමිණියේ ඉදිකටුපාන ට.මෙතැනදී විශේෂ චාරිත්‍රයක් ඉටුකරනවා.අපි පහලින් මිලදීගත්ත ඉදිකටුවක් හා නූලක් මෙන්ම,හඳුන්කුරු,ඖෂධ අඩංගු මල්ල ගෙන හඳුන්කුරු එම ස්ථානයේ දල්වා ඉදිකටුවට නූල අමුණා එම ස්ථානයේ ගැටගසා නූලේ කෙලවර තෙක් ඇදගෙන යාමයි එම චාරිත්‍රය.අපි ඒ දේත් පිළිවෙලට ඉටු කර ඉදිරියටම ගියා.පාන්දර 4 ටත් ආසන්නයි.දැන් අපි ඒ ශුද්ධ භූමියට ආසන්න වෙලා තිබුනා.තිබ්බ ගමන් මහන්සිය කොහෙන් ගියාද දන්නා.අපි හැමෝම ඉතාම සතුටකින් වගේම ශ්‍රද්ධාවකින් උඩ මලුව වෙත ලගා වුනා.එම ස්ථානයේදී දැනෙන සුන්දර හැගීම ගැන කියන්න වචන නෑ.අපි සේරම අප මහා ගෞතම බුදුපියාණන් වහන්සේගේ සිරිපතුල ඉතාම ශ්‍රද්ධාවෙන් වන්දනා කරගත්තා.
                    උඩ මලුව තුල ටික වෙලාවක් රැඳුන අප ගිමන් නිවා ගැනීමට මදක් පහලට පැමිණියා.වෙලාව අලුයම 4.30 ට පමණ.ඇඟට ඉදිකටු අනිනවා වැනි හැගීමකින් දැනුනු සීතල නිසා අපි රැගෙන ආ කබා පැළදගෙන එම ස්ථානයේ රැදී හිටියා.අපේ මීලග අරමුණ වුනේ ඉර සේවය නැරඹීමයි.උදෑසන 6.15 පමණ වන විට ඒ චමත්කාර දර්ශනය දැක ගන්න අපි පින්වන්ත වුනා.ඒ වගේ අලංකාර විදිහට හිරු නැගෙන අයුරු මේ ලෝකේ වෙන කිසිම ස්ථානයකට නොපෙනෙනවා ඇති.ඇස් අදහා ගත නොහැකි තරම් වුන සුන්දරත්වයක් ඒ දර්ශනයේ තිබුනා.කැමරාවේ බැටරිය හොදටම අඩු වෙලා තිබුනත් ඒ දර්ශනය චායාරූප ගත කරන්න මම වාසනාවන්ත වුනා.අපේ ගමන හැම අතින්ම සාර්ථක වුනා කියන හැගීමෙන් අපි සේරම පහලට පිවිසුනා...

ඉර සේවය.
පැය දෙකක පමණ ගමනක් වුනු එහිදී අපිට තවත් අමතක නොවන මතකයක් එක කරේ බ්‍රිජට් කියන ස්විට්සර්ලන්ත ජාතික කාන්තාව...ඇය සමඟ ඉතාම සුහද පිළිසඳරක යෙදීගන ආව අපිට විඩාවක් දැනුනේම නෑ.ඇගේ රටේ විස්තරත්,පවුලේ විස්තරත් ඉතාම වැදගත් අධ්‍යාපනික කරුනුත් ඇය අපි සමග කීවේ සෑහෙන කාලෙක පටන් අදුරන මිතුරන් පිරිසක් මුණගැහුන විදියට.නැවතත් නල්ලතන්නියට පැමිණි පසු ඇයගෙන් සමුගැනීම ටිකක් හිතට දුකක් දැනුන මොහොතක්.අපි හැමෝම එක්ක චායාරූපයකටත් පෙනී ඉඳලා ඇය අපෙන් සමුගත්තා.නැවත අපි නිවෙස් බලා පිටත් වුනා.යන මගදී හැමෝටම වේදනාව.ඒ වගේම නිදිමත හින්ද හෙම්බත් වෙලා හිටියේ,ඒක මග හැරගන්නට ආපහු නාලා යමු කියලා යෝජනා වුනා.අපි නැවතත් කිතුල්ගල ඔයටම ගිහින් නාගෙන දිවා ආහාරයත් අරන් නිවෙස් බලා පිටත් වුනේ වේදනාව මැදින් ලොකු සතුටක් හිතේ තියාගෙන.මගේ ජීවිතේ මම ගියපු සුන්දරම චාරිකාවක් ඒ විදිහට නිමා වුනා.අපේ ගමනේ චායාරූප පහලින් බලන්න පුළුවන්.එහෙනම් හැමෝටම ජය වේවා !!!!


කිතුල්ගල ඔය 

ශ්‍රී පාද පුදබිමට.

ශ්‍රී පාද පුදබිමට ඇතුළුවන ස්ථානයේ ඇති සැතපෙන පිළිම වහන්සේ.




2 comments:

  1. හෑ උඹ අහුවෙයන්කෝ. නාන ලඳුන්, උඹේ වෙලාව හොඳ කමට ඕක දැම්මේ අනික එහෙම දැම්මනං හම ගහනවා.

    ReplyDelete
  2. හී හී.ඒක දාන්නත් හිතල පස්සේ ආත්ම ගරුත්වය ගැන හිතල තමයි මේක දැම්මේ ඔන්න.

    ReplyDelete